ලොතරැයි අලෙවි කිරීම 1977න් පසුව විවෘත ආර්ථීකය සමඟ බිහිවූ නව පන්නයේ රැකියා මාධ්‍යයකි. එහෙත් එයට පැරණි ඉතිහාසියක්ද ඇත. 1949 පළාත් පාලන පනත යටතේ පලමු ලොතරැයි අලෙවිය නීතිගත වී ඇති අතර 1955 ආරෝග්‍යශාලා ලොතරැයිය ලෙස ව්‍යාප්ත වී මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන රාජ්‍ය ආයතන දෙකින් ලාභ ලබන ව්‍යාපාර ලෙස පවත්වා ගෙන යයි.

නව රජයේ බදු ප්‍රතිපත්තිය නිසා ලොතරැයි මණ්ඩලය උපයන ලාභය අඩු වෙමින් පවතින බව ප්‍රකාශ කරමින් ලොතරැයි පතක මිල රු.20/- සිට රු.30/- දක්වා වැඩි කිරීමට තීරණය කළ අතර අලෙවිකරුවන්ට ප්‍රමාණවත් අලෙවි කොමිස් මුදලක් ගෙවීමට මණ්ඩලය එකඟ නොවීම නිසා අලෙවිකරුවන්ගේ වර්ජනය ජනවාරි 01 වන විට ආරම්භ විය.

දින කීපයක් වර්ජනය පැවති අතර ලොතරැයි අලෙවිය මුඵමනින්ම කඩා වැටුනු අතර රජයේ ආදායම පහල වැටීමට පටන් ගැනුනි. අතීසාරයට අමුඩ ගසන ආකාරයෙන් අලූත් නියෝජිතයින් පත් කරන බවටත් කාර්යාලීය සේවකයින් යොදා ටිකට් පත් අලෙවි කරන බවටත් කළ ප්‍රකාශ පුස්සක් වූ අතර වැඩි මිලට ටිකට්පත් මිලදී ගැනීමට ජනතාවද නොකැමැත්තක් දැක්වීය.

අවසානයේ මෙම තත්වය ජනාධිපතිවරයා මැදිහත්ව සාකච්ඡාවක් පවත්වා විසඳුමක් ලැඛෙන තෙක් තාවකාලිකව වර්ජනය අත්හිටවනු ලැබීය. නමුත් බලාපොරොත්තු වූ ආකාරයෙන් විසඳුමක් නොලැබුණු බැවින් නැවතත් සති දෙකක කල්දීමෙන් පසුව ජන 14 වෙනි දින වර්ජනය ක්‍රියාත්මක කළ අතර එය අඛණ්ඩ වර්ජනයක් බවටද ප්‍රකාශ කෙරුණි. අවසානයේ ජනවාරි 17  දින වන විට සිදුවිය හැකි දේ පිලිබඳව තේරුම් ගනිමින් ජනාධිපති නියෝගය අනුව ටිකට් පතක මිල පෙර පැවති තත්ත්වයටම ගෙන එනු ලැබූ අතර, ගෙවීම් රටාවද ඒ අනුව සිදු කිරීමට එකඟ වීමෙන් වර්ජනය නිමවීය.

මෙවැනි තත්ත්වයක් මතු වූයේ ඇයි? රන්බිජු දමන කිකිලියක් බඳු වූ ලොතරැයි මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ සැලැස්මක්ද මේ තුලවේ. ඒ රාජ්‍ය ආයතන ව්‍යාපාරික කටයුතු වලින් ඉවත් විය යුතුය යන ජාත්‍යන්තර යහපාලන කොන්දේසි අනුවය. අනෙක් අතට ජනාධිපති තනතුර අහෝසි කිරීමට යූ.ඇන්.පි.ය වලිකන අතර ශ්‍රී ල.නි.ප. එය පවත්වා ගෙන යාම වෙනුවෙන් උත්සාහ දරයි. එයද ජාත්‍යන්තර කොන්දේසියකි. ජනාධිපති පඹයෙකු බවට පත් කිරීමට නම් ඔහුගේ අරමුදල් ශක්තිය හීන කල යුතුය. එනිසා ජනාධිපති අරමුදල ශක්තිමත් කරන ලොතරැයි මණ්ඩලය වසා දැමීම හෝ පාඩු ලබන තත්ත්වයකට පත් කර පුද්ගලික අංශයට පැවරීම මෙහි යටි අරමුණයි. මුදල් අමාත්‍යවරයා හා අගමැතිගේ අනුදැනුම ඇතිව මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක විය.

කුමන්ත්‍රණකාරී තත්වය අලෙවි නියෝජිතයින්ද, දේශපාලන පක්ෂද පෙන්නා දුන් පසුව ජනාධිපතිවරයා දැඩි තීරණයකට එළඹෙමින් ලොතරැස් සේවක අයිතිය ආරක්ෂා කෙරන ආකාරයේ තීරණයකට එළඹ තිබේ. එයින් එම කේෂත්‍රයේ ඍජු ලෙස අලෙවියට සම්බන්ධවන 30,000ක සේවකයින්ගේද අනියම් ආකාරයෙන් සේවා ඉටු කරන 10,000ක සේවකයින්ගේද පොදුවේ ගත් කල එම අලෙවියෙන් යැපෙන ලක්ෂ 6ක් පමණ වන ජනතාවගේද පැවැත්ම ආරක්ෂා කරදීමක් සිදුවිය. මෙයින් පෙන්නුම් කරන්නේ අසංවිධිත අංශයේ රැකියාවන්හි නියුතු සේවකයින්ට පවා වෘත්තීමය වශයෙන් කේවල් කිරීමට ඇති අයිතිය හා හැකියාව අඩුවෙන් තක්සේරු නොකළ යුතු බවයි. සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු වලිමුණි මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ලොතරැයි සංගමයේ ඉල්ලීම ඉටුකරදීම  අගේ කරන බවයි.,,

ජී.වී.ඩී.තිලකසිරි

සභාපති, නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානය

-වැඩබිම- 2017-01-15

ලොතරැයි අලෙවිකරුවන්ගේ සටන ජයගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *