පොදුවේ ගත් කල අවිධිමත් කේෂත්‍රයේ රැකියාවන්හි නියුතු වන බොහෝ දෙනෙකුට අයිතිවාසිකම් අහිමිව තිබීම ඛේදජනක තත්ත්වයකි. අවිධිමත් කේෂත්‍රයට අයත් වන ලොතරැයි අලෙවිකරුවන්, පදික වෙළඳුන්, සංචාරක වෙළඳුන්, පවිත්‍රතා සේවකයින්, බර උසුලන්නන්, කොන්ත්‍රාත් සේවකයින්, ආරක්ෂක සේවාවල නියුතු අය, ගෘහ සේවකයින්, හෝටල් හා වෙළඳසැල්වල සේවයේ නියුතු පිරිස්, වාහන සෝදන පිරිස්, පොම්පකරුවන් දක්වා විහිදී යයි. මෙම පිරිස මුඵ ශ්‍රම බලකායෙන් 65% පමණ වේ.

මොවුන්ට සේවක අර්ථ සාධක අරමුදල් නැත, සේවක භාරකාර අරමුදල් නැත, නිවාඩු නැත, වැටුපේ නියමිත සීමාවක් හෝ අවම වැටුපක් නැත. එම අයිතිවාසිකම් නොමැතිවීම නිසා, මෙම සේවකයින්ගේ මහලු විය ඉතා ඛේද ජනකය. එසේම රෝගී බවට පත් වුවහොත් කිසිවෙකුගේ පිලිසරණක් නැත. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය නොපවතින්න මොවුන්ගේ බොහෝ දෙනෙකුගේ තත්වය අන්ත අසරණ තත්වයට පත්වනු ඇත.

මෙම සේවකයින්ගෙන් ඇතමුන් අනාරක්ෂිත රැකියාවන්හි නිරත කරවීම සිදුවේ. එසේම ඔවුන්ට අවශ්‍ය ශාරිරික ආරක්ෂණ ආවරණයන් නොමැත. විශේෂයෙන්ම කොන්ත්‍රාත් සේවයේ නියුතු සේවකයින් ජීවිත අනතුරු වලට භාජනය වීම පවා සිදුවේ. එවැනි අවස්ථාවක ඔවුන්ගේ යැපෙන්නන්ට කිසිවෙකුගේ හව්හරනක් නොලැඛෙන අතර සාධාරණ වන්දියක් ලබාදීමට වගකිව යුත්තෙක්ද නොමැතිවීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් පවතින රටකට නොගැලෙපෙන වටපිටාවකි.

මෙම සේවකයින්ගේ මාසික ආදායම ස්ථීර තත්වයක නොමැති අතර, මසක් පුරා වැඩ කලත් ඔවුන්ට උපයා ගත හැකි වන්නේ තමන්ගේ කෑමට හා විලිවසා ගැනීමට ඇඳුම්කඩක් ලබාගත හැකි ආදායමක් පමණි. එවැනි විටක ඔවුන්ගේ දරු පවුල හා යැපෙන්නන්ට යන කලදසාව ගැන වෙනත් විස්තරයක් අවශ්‍ය නැත.

මෙම කේෂත්‍රයේ රැකියායාවන්හි අඩු මුදලට නිරත කරවීමට කාන්තාවන් හා ලමුන්ද මහලු අයද යොදා ගැනීම සිදු වේ. මේවා ගැන සොයා බලා පියවර ගැනීමට බලධාරින් නොපෙළඹෙන්නේ ඔවුන්ටද එම සේවකයින් නඩත්තු කිරීම සඳහා ආදායමක් උපයා ගැනීමට මාවතක් සොයාදීමට සමාජ විධික්‍රමයක් සකස් වී නොමැති නිසාය. එනිසා මෙය වෙළඳපොල මත පදනම් වූ සමාජයත් සමඟ ඉදිරියට ඇදෙන දුෂ්ඨ චක්‍රයක ස්වරූපයයි.

සුභසාධන රාජ්‍ය රටාව වෙළඳපොලට හැරවීම නිසා ඍජු ලෙසම දැඩි පීඩාවට පත් වන්නේ අසංවිධිත කේෂත්‍රයේ සේවක පිරිසද ඔවුන්ගේ යැපෙන්නන් හා දූ දරුවන්ය. බොහෝ අවස්ථාවන්හිදී රජයේ අවධානය අසංවිධිත කේෂත්‍රයේ පහල ආදායම් මට්ටම්වල යැපෙන පිරිස නොසලකා හරිනු ලැබේ. රජයේ නිර්නායකයන්ට අයත් වන්නේ අවම වැටුප් ලබන සංවිධිත කේෂත්‍රයේ කම්කරු ජනතාවය. මේ හේතුව නිසා විවෘත ආර්ථීකය පුලුල්වීමත් සමඟ සමාජ දරිද්‍රතාවය සීඝ්‍රයෙන් දියුණු වීම දැකිය හැකි අතර. නාගරිකව ලමා මන්දපෝෂණය වර්ධනයන්ද සමීක්ෂණ වලින් පෙන්නුම් කෙරේ.  එය ලංකාවේ පමණක් නොව දියුණු ලෝකයේ මහා බි්‍රතාන්‍ය හා ඇමරිකාවේ ප්‍රධාන නගරවල දූගී කේෂත්‍රයේ ලමා ජනගහනයේ මන්දපෝෂණය ඉහල මට්ටමක ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර තිබේ.

මෙම තත්ත්වය නිසා හැම කේෂත්‍රයකම සංවිධිත හෝ අසංවිධිත සේවකයකුගේ මාසික අවම වැටුප තීරණය කිරීම රජයේ වගකීමක් වන්නේය. එම සීමාවේ සිට රජය කටයුතු කිරීම අරඹනවා නම් සමාජ මට්ටම දියුණුවීම හා දියුණු සමාජයක් කරා ගමන් කිරීමේ මාවත විවරවේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේද අනගි ඵලය වනු ඇත. නමුත් මෙතෙක් කලක් සිදු වූ ලෙස තවමත් ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයන් පාවිච්චි කෙරෙන්නේ සමාජයේ පහල තීරුවල අයිතිවාසිකම් නොතකා ඔවුන්ගේ ශ්‍රමයෙන් ලාභ උපයා ගෙන සමාගම් හෝ ප්‍රාග්ධන හිමියන් පොහොසත් කරවන අසාධාරන පිලිවෙතකිනි. එබැවින් අවම වැටුප සකසා ගැනීමේදී සලකා බැලිය යුතු සාධකය වන්නේ පුද්ගලයෙකුට පාරිභෝගිකයෙක් ලෙස අවම ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමේ දී පවතින සමාජය අනුව ගෙවිය යුතු මිල ගණනය. එහිදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කර ගත හොත් පුද්ගලයෙක් සඳහා සාමාන්‍ය වශයෙන් මසකට රු.30,000/-ක වියදම් මට්ටමක්ද කුටුම්භයක් ලෙස හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසික වියදම රු. 78,000/- පමණද වේ. එවැනි තත්ත්වයකට ශ්‍රමයට ගෙවන ගෙවීම් සකස් කර දිය හැකි නම් සමාජ ආරක්ෂණ පිහිටද ඔවුන්ට හිමිවනු ඇත.

මේ නිසා වර්තමාන ලාංකික සමාජය ඉදිරියේ ඇති බැරෑරුම් ප්‍රශ්ණය වන්නේ අවම වැටුපක් ලබාදීම, අවම සේවා කොන්දේසි පිලිබඳව නීතිරීති පැනවීම හා අවම සමාජ ආරක්ෂණ පියවරයන් හඳුන්වාදීමය. මෙහිදී සෑම සේවකයෙකුට මහලූවිය ආරක්ෂණයක් තිබිය යුතුය. එය සංවිධිත කේෂත්‍රයෙන් ආවරණය නොවන හැම අයෙකුටම ලබාදීමට රජය විසින් විධිවිධාන යෙදිය යුතුය. එසේම අසංවිධිත කේෂත්‍රයේ සේවකයෙක් වුවත් ඔහු අසනීපව සිටින කාලය තුල නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීම මෙන්ම ඔහුට හා ඔහුගේ යැපෙන්නන්ට ජීවත්වීමට අවශ්‍ය වියදම් සහනය ලබාදීමට වැඩපිලිවෙලක් සකසා දිය යුතුය.

මෙහිදී සේවක සුභසාධනය දියුණු කිරීමට බලපාන ප්‍රධාන කරුණ වී ඇත්තේ දුගීභාවයට පත් සේවකයින් පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට හා සංවිධානයවීමට ඇති ඉඩකඩ අවම වීමය. දැනට වෘත්තීය සමිති ආඥා පනතින් ආවරණය වන්නේ ස්වාමියෙක් සහිත සංවිධිත කේෂත්‍රය පමණි. අනිකුත් කේෂත්‍රවල පඩිපාලක සභා පැවතුනත් ඒවාට නියෝජනය කිරීම සඳහා ශක්තිමත් සේවක සංවිධාන රටාවකට ඉඩකඩ නොමැත. එබැවින් විවෘත ආර්ථීක ක්‍රමයක් හඳුන්වා දෙන විට මතු වන ගැටලුව වන්නේ වෙළඳපොලට ශ්‍රමිකයින් මුදාහැරීම නිසා පීඩාවට පත්වන එම ජන කණ්ඩායම්වලට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සංවිධානයවීම හා කේවල කිරීමට ශක්තියක් නොමැතිවීම බරපතල තත්ත්වයකි. එනිසා ඔවුන් මිනිස් දූවිලි බවට පත්වී යාම සිදුවේ. ඒ නිසා සමාගම්  හා රජය මේම සේවකයින් සේවයේ යොදවමින් ඔවුන්ගේමානව අයිතිවාසිකම් බිඳ දමමින් උපයන ඉහල ලාභ ඉලක්කම කලු මුදල් ඉපැයීමකි.  ඒ තත්වය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වතුකරය තුල දරුනු තත්වයකින් පැවතුනි. නිදහසින් පසුවත් එම සූරාකෑම සිදුවේ..

ලොතරැයි අලෙවි කරන්නන් පමණක් නොව බස් රථ අයිතිකරුවන්ගේද මෑතකදී සිද වූ වර්ජන දෙකින්ම පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ සංවිධාන බලය ද අසංවිධිත ආකාරයෙන් පැණ නැගී ඇති බවය. එනිසා නගරාසන්නව ගොනුවන මෙවැනි සේවක පිරිසකගේ ශක්තිය හා බලය අති විශාල බව පසුගිය වර්ජන දෙකින්ම පෙනී ගිය කරුණකි. අවසාන වශයෙන් රජයට ඔවුන්ගේ හඩට කන්දීමට සිදුවූයේ යුක්ති සහගත ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කර ඇති නිසාය. ඒ නිසා අසංවිධිත කේෂත්‍රයේ වෘත්තීය සංවිධින ලියාපදිංචි කර ගැනීම සඳහා නව නීති ගෙන ආ යුතු අතර අසංවිධිත කේෂත්‍රයේ ස්වාමියා වන්නේ රජය බව මෙම සියලූ කරනු අධ්‍යනයෙන් පෙනී යයි. සාධාරන යුක්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් ස්ථාපිත කරන්නේ නම් වඩාත් පීඩාවට පත්ව සිටින අංවිධිත කේෂත්‍රයේ අතිවිශාල සේවක පිරිසකගේ  සුභසිද්ධිය තහවුරු කරදීම සඳහා සියලූ දෙනාගේම අවධානය යොමු විය යුතුය.

ජී.වී.ඩී.තිලකසිරි

සභාපති, නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානය

-වැඩබිම- 2017-01-18

අවිධිමත් කේෂත්‍රයේ සේවක අයිතිවාසිකම් සකස්කර කර දීමට රජය මැදිහත් විය යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *